Pages

Saturday, July 23, 2016

බෝපතක හැඩරුවින් ගලාබසින බෝපත් ඇල්ල

















ගහකොළට, වන සතුන්ට පෙම් බඳිමින් පරිසරයට ඇලුම් කරන විවිධාකාර වූ මිනිසුන් අතරේ සුන්දර දියඇලිවලටද ප්‍රියකරන බොහොමයක් සිටිති. මෙවර සංචාරයෙන් ඔබවෙත ගෙන ඒමට සැරසෙන්නේ දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් සංචාරය කරන ප්‍රියකරන සොඳුරු දසුනක මංසලකුණුය.
කොළඹ-රත්නපුර මාර්ගයේදී හමුවන කුරුවිට නගරයේ පිහිටා තිබෙන පොලීසිය අසලින් හැරී මදදුරක් ගියවිට හමුවන අගලවත්ත ගම්මානයේ සොඳුරු ඉසව්වක පිහිටි දෙස් විදෙස් සංචාරකයන්ට ආස්වාදය ලබාදෙමින් කඩා හැලෙන බෝපත් ඇල්ල ඔබට හමුවේ.
කළුගඟට එක්වන අතු ගංගාවක් වන කුරුගම, එක් අවස්ථාවක කඳු මුදුනක සිට පටු විවරයක් හරහා උසින් මීටර් 30 ක් (අඩි 95) පමණ දුර කඩා හැලීමෙන් මෙම සුන්දර දිය ඇල්ල නිර්මාණය වේ.
රත්නපුර සමන් දේවාලය වැඳපුදා ගැනීමට පැමිණි පුරාණ පාලකයන් බෝපත් ඇල්ලෙන් දිය නා පිරිසුදු වී දේවාලයට ගිය බව පුරාවෘත්යන්හි සඳහන් වෙයි. එමෙන්ම මෙම ඇල්ල බෞද්ධයන්ගේ වන්දනාමානයට පත් වු බෝගසේ පත්‍රයක හැඩයෙන් ගලා බසින් හෙයින් බෝගසට තිබෙන පූජනීයත්වයට මෙයට හිමිවූ බව පැරැන්නෝ පවසා සිටිති.
පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනසා ගෙන ඇති අතර, ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරමින් දියානෑමට එන පිරිස් බිල්ලට ගන්නා බව හා දිය ඇල්ල ඇතුල් පැත්තේ නිදානයක් ඇති බවටත් එය දිය ඇල්ලෙන් හා අද්භූත ආත්මයකින් ආරක්ෂා වන බවටත් ප්‍රසිද්ධ මිථ්‍යා මත ගණනාවක් මෙම ඇල්ල හා බැඳී පවතී.
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ ඉතා කුඩා වයසේ සිට වැඩිමහල් පිරිස් දක්වා දියකෙළියෙහි යෙදෙන්නන්ට ආරක්ෂිත ස්ථාන බොහොමයක් පවතියි. එහෙත් ඇල්ල ඇදහැලෙන ඇල්ලේ පාමුල දියනෑමට එතරම් සුදුසු ස්ථානයක් නම් නොවේ. එමෙන්ම වැසි කාලගුණයන් පවතින කාලයන්හි ඇති වන අධික සැඩ ජල පහරවල් හේතුවෙන් ඇල්ල ඇදහැලෙන පර්වතයට නැගීමත් ඉතා අවදානම් කටයුත්තකි. එසේ කිරීමට ගොස් මේ වනවිට බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදු වී ඇත.
බෝපත් ඇල්ල පිහිටි භූමියට මත්පැන් රැගෙනයාමට සහ පානය කිරීමට තහනම් කර තිබෙන හෙයින් මෙහි වටපිටාව බොහෝසෙයින් සාමකාමී ස්වරූපයක් ගනී. කුරුවිට ප්‍රාදේශීය සභාව විසින් බෝපත් ඇල්ලට ඇතුළු වන පුද්ගලයන්ගෙන් රුපියල් 20 ක මුදලක් අය කරනු ලැබේ. ඔවුන් දිය ඇල්ල ආශ්‍රිතව රථ ගාලක්, නැරඹුම් ප්‍රදේශයක් හා වැසිකිළි සංකීර්ණයක්ද ඉදිකර තිබේ. ඊට අමතරව පෞද්ගලික ආයතන විසින් පවත්වාගෙන යන නේවාසික පහසුකම් සහිත විවේකාගාර කිහිපයක්ද මේ භූමියේ පිහිටා තිබේ.
මෙම ජල පහර දිය දහර කිහිපයකට බෙදෙමින් දර්ශනීය දූපත් ගොඩනැගිලි ගණනාවක් නිර්මාණය කරමින් උඩකඩ සහ කුරුවිට ප්‍රදේශවල කෙත්වතු සරුසාර කිරීමටද දායක වේ.
 
සටහන හා ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / සුපුන් සම්පත්

0 comments:

Post a Comment